ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රු.කෝටි 46.5


ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලි දෙකම ජයගෙන එම කුසලාන ශී‍්‍ර ලංකාවට ගෙන ඒමට සමත් වුවහොත් දීමනා වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන තුන හමාරක් හෙවත් රුපියල් කෝටි 46.5 ක මුදලක් හිමිකරගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව අද (13 වැනිදා) තීරණය කළේය.

ඒ අනුව ලබන 16 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට සමත් වුවහොත් ඩොලර් මිලියන එක හමාරක්ද (රුපියල් කෝටි 20 කට ආසන්න මුදලකි) ලබන වසර මුලදී  ඕස්ටේ‍්‍රලියාවේ සහ නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගතහොත් ඩොලර් මිලියන දෙකක් (රුපියල් කෝටි 26 කට වැඩි මුදලකි) හිමිකරගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කණ්ඩායමට තිබේ.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් කී‍්‍රඩකයන්ගේ රූප භාවිතා කිරීම සම්බන්ධයෙන් වන ගෙවීම් වලින් ‘කී‍්‍රඩකයන්ගේ කොටස’ වෙනුවට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් දිරිගැන්වීම සඳහා මෙවන් විශාල ත්‍යාග ප‍්‍රදානය කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට තීරණය කර තිබේ. මෙම මුදල් කණ්ඩායමේ සාමාජිකයන් 15 දෙනා අතර බෙදී යනු ඇත.

ලෝක කුසලාන තරගාවලි වලදී කී‍්‍රඩකයන්ගේ රූප භාවිතා කිරීම වෙනුවෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවනු ලබන මුදලින් 20% ක කොටසක් කී‍්‍රඩකයන් ඉල්ලා සිටියද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ඊට අකමැති වීම නිසා දෙපාර්ශ්වය අතර මත ගැටුම් ඇතිවිය. පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සහ කී‍්‍රඩකයන් අතර ඊයේ (12 වැනිදා) පැවැති සාකච්ඡවකින් පසුව ලෝක කුසලාන තරගාවලි සඳහා දීමනා වැඩි කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය.

ඒ අනුව විස්සයි:20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් ලක්‍ෂ 5 ක මුදලක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිවන අතර තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුවහොත් තවත් ඩොලර් ලක්‍ෂ දෙක හමාරක මුදලක් හිමිවේ. අවසන් තරගයට සුදුසකම් ලබාගතහොත් තවත් ඩොලර් ලක්‍ෂ දෙක හමාරක් ශී‍්‍ර ලංකා පිලට පිරිනැමෙන හෙයින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගන්නේ නම් ශී‍්‍ර ලංකා පිලට හිමිවන මුදල ඩොලර් ලක්‍ෂ 10 කි.

එසේ වුවත් අවසන් තරගය ජයගන්නේ නම් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දීමනාව තවත් ඩොලර් ලක්‍ෂ 5 කින් වැඩි කෙරෙනු ඇත.

ලබන වසර මුලදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිවන මුදල ඩොලර් ලක්‍ෂ හත හමාරකි. එම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නේ නම් තවත් ඩොලර් ලක්‍ෂ දෙක හමාරක්ද අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්නේ නම් තවත් ඩොලර් ලක්‍ෂ දෙක හමාරක්ද ශී‍්‍ර ලංකා කණ්ඩායමට පිරිනැමේ.

එක්දින ලෝක කුසලාන දිනාගතහොත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයෙන් කණ්ඩායමට හිමිවන මුදල ඩොලර් ලක්‍ෂ හත හමාරකි. ඒ අනුව එක්දින ලෝක ශූරතාව දිනාගන්නේ නම් ශී‍්‍ර ලංකා පිලට හිමි සම්පූර්ණ මුදල ඩොලර් මිලියන දෙකකි.

මෙම මූල්‍යමය දීමනා සියල්ලම ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිමිවන්නේ ඒ ඒ තරගාවලි වලදී ඔවුන් විසින් දිනාගනු ලබන ත්‍යාග මුදල් වලට අමතරවය.

මේ අතර ආසියානු කුෂලාන දිනාගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඩොලර් ලක්‍ෂයක විශේෂ ත්‍යාග මුදලක් පිරිනැමීමටද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේය.

Posted in: ,

0 comments for "ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට රු.කෝටි 46.5"

Leave a reply