වැල්ලම්පිටිය කුඩු O.I.C ට A.S.P. තනතුරක්
oic2

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ නැමැත්තා ජනවාරි 10 වැනිදා සහකාර පොලිස් අධිකාරිවර‍යකු ලෙස උසස් වීම් ලැබීම සඳහා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතව සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසයි.
පොලීසියේ සිටින මෙවැනි ජාවාරම්කරුවන්ට තමාගෙන් කිසිදු සමාවක් නැති බවත් වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් වන විමර්ශන පුළුල්ව පවත්වන බවත් ‍පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා “ලක්බිම” කළ විමසුමකදී සඳහන් කළේය.
‍පොලිස් මූලස්ථානයට අනුයුක්ත සංවිධානාත්මක අපරාධ හා දූෂණ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (31) පෙරවරුවේදී වැල්ලම්පිටිය ‍පොලීසිය ආසන්නයේ කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග පුද්ගලයෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබේ. එම හෙරොයින් ඔහුට ලබාදී තිබුණේ මංජල් අක්‍රම්ගේ අනියම් බිරිඳ බව ඔහුගෙන් කෙරුනු ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත. ඒ අනුව ‍පොලිස් කණ්ඩායම මංජල් අක්‍රම්ගේ බිරිඳව හෙරොයින් ග්‍රෑම් 10ක් සමග ඊට සුළු මොහොතකට පසු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ එම හෙරොයින් තොගය ඇයට ලබා දී ඇත්තේ නගරාධිපතිවරයාගේ ගෝලයා බවය. ඒ අනුව ‍පොලිස් කණ්ඩායම ඔහුවද අත්අඩංගුවට ගෙන තිබේ.
එම හෙරොයින් තොගය අවස්ථා දෙකකදී රුපියල් එක් ලක්ෂ පනස්දහසක මුදලකටත් රුපියල් තිස් දහසක මුදලකටත් වැල්ලම්පිටිය ‍පොලීසියේ ස්ථානාධිපතිවරයාගෙන් ඔහු විසින් ලබාගෙන ඇති බව හෙළිවී ඇත්තේ එහිදීයි.
සංවිධානාත්මක අපරාධ හා දූෂණ විමර්ශන අංශය වහාම ඒ බව ඔවුන්ගේ ඉහළ නිලධාරියා වන නියෝජ්‍ය ‍පොලිස්පති අයි.එම්. කරුණාරත්න මහතාට දැනුම්දී ඇත. ඔහු ඒ බව ‍පොලිස්පතිවරයාට පවසා තිබේ.
msoeඒ අනුව ‍පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක මහතාට දැනුම් දී ඇත. එහිදී අනුර සේනානායක මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර ‍පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් පෙරේදා (31) රාත්‍රියේ වැල්ලම්පිටිය ‍පොලීසියට ගොස් ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත් බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා කීය.
එහිදී ‍පොලිස් භූමියේ ඇති ස්ථානාධිපති නිල නිවස පරීක්ෂා කිරීමේදී කාමරයක ඇති අල්මාරියක තිබි හෙරොයින් ග්‍රෑම් 42ක් සමග රුපියල් එක්ලක්ෂ අසූඑක් දහසක මුදලක් සොයාගන්නට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට හැකිවී තිබේ. එම මුදල මෙදින පෙරවරුවේ හෙරොයින් විකුණා ලබාගත් මුදල් බවත් එයින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් දේශපාලනඥයාගේ ගෝලයා විසින් ලබා දී ඇත්තේ ස්ථානාධිපතිවරයාගේ බිරිඳ අතට බවත් අනාවරණය වී තිබේ.
එම මුදල් හෙරොයින් විකුණා ලද ඒවා බව බිරිඳ දැන සිටියේද... නැද්ද...? පිළිබඳව කිසිවක් ආනවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පවත්වා ඇය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අජිත් රෝහණ මහතා කීය.
නමුත් ස්ථානාධිපතිවරයා සහ තැරැව්කරුවන දේශපාලනඥයාගේ ගෝලයා දින 07ක් රවාගෙන පරීක්ෂණ පැවැත්වීමට ‍පොලීසිය පියවරගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තම නිවසින් සොයාගනු ලැබුවේ මත්ද්‍රව්‍යයක් නොවන බවත් එය මත්ද්‍රව්‍යවලට එක්තරා කරන රසායනික ද්‍රව්‍යයක් බවත් ‍පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. නමුත් මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඒවා හෙරොයින් බවය.
ඒ ගැන වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට රජයේ රස පරීක්ෂකවරයා වෙත එම හෙරොයින් තොගය ඉදිරිපත් කරන බවත් රස පරීක්ෂක වාර්තාවට අනුව ඔහුට නඩු පැවැරීමට පියවර ගන්නා බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය. එම මත්ද්‍රව්‍ය ස්ථානාධිපතිවරයාට ලැබුණේ වැටලීමකදී බව ඔහු පවසන බවත් ඒ සම්බන්ධයෙන් පුළුල්ව
පරීක්ෂණ කෙරෙන බවත් අජිත් රෝහණ මහතා කීය.
මෙම ‍පොලිස් ස්ථානාධිපතිවරයා නීතිය හරිහැටි ක්‍රියාත්මක කරන නිලධාරියෙක් ලෙස සැරපරුෂ ආකාරයට ‍පොලිස් රාජකාරි කර ඇති අයෙක් බව ප්‍රදේශයෙන් ැබෙන තොරතුරු අනාවරණය කළේය. ‍පොළොවේ අඩි හප්පා ගෝරනාඩු කරන පුද්ගලයෙක්වන ඔහු වැල්ලම්පිටිය ‍පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම් ලද දින සිට නුගේගොඩ ‍පොලිස් කොට්ඨාසයට අයත් ‍පොලිස් ස්ථාන අතරින් වැඩියෙන්ම මත්කුඩු සහ මත්පැන් අල්ලා ඇත්තේද වැල්ලම්පිටිය ‍පොලීසිය මගින් බවද සඳහන්ය.
නුගේගොඩ ‍පොලිස් කොට්ඨාසයට අයත් අතුරුගිරිය ‍පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්ද පසුගිය වසරේ වැඩ තහනමට ලක්වූයේ අත්අඩංගුවට ගැනුණු හෙරොයින් තොගයක් පාන් පිටි බවට පත්වීමක් සම්බන්ධයෙනි. එම ‍පොලිස් කොට්ඨාසයටම අයත් තලංගම ‍පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට පත්වන්නේ හිටපු ‍පොලිස් පරීක්ෂකවරයකුගේ ඝාතනයක් යට ගැසීමට ගොසිණි.
‍පොලිස් කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් පහළ නිලධාරීන්ව සුපරීක්ෂණය කිරීම ගැන මේ අනුව ගැටලුවක් මතුව ඇති බවත් ඒ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට තමාට සිදුවන බවත් ලක්බිම ඒ ගැන කළ විමසුමකදී ‍පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා කීය.
“යම් වැරැද්දක් කළොත් ඒ පුද්ගලයා කුමන තරාතිරමක අයෙක් වුවත් නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නැහැ. විශේෂයෙන් ‍පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක වෙනවා. අපේ නිලධාරියෙක් කියලා වෙනසක් දක්වන්නේ නැහැ. අනෙක වත්මන් ‍පොලිස්පතිවරයාගෙන් ඒ අයට කිසිදු බුරුලක් නැහැ. විනිවිදතාවයකින් යුතුව පරීක්ෂණ කෙරෙනවා.” යැයි අජිත් රෝහණ මහතා වැල්ලම්පිටිය ‍පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‍පොලිස් මූලස්ථානයේදී ඊයේ (01) සවස පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.
‍පොලිස්පතිවරයාගේ දැක්ම දූෂිත නිලධාරීන් ඉවත් කොට මහජන හිතකාමී ‍පොලීසියක් ගොඩනැගීම බවද ඔහු වැඩිදුරටත් පැවැසුවේය. 

Posted in:

0 comments for " "

Leave a reply