ආබෘ සැලසුම් කළේ අමල් පෙරේරාට මුවාවී සුදු කැස්බෑවා කෝටි ගණනකට විකුණන්නද?
ජනප්‍රිය ගායක අමල් පෙරේරාගේ පිටින් යන්නට ගිය කොස්ගොඩ සුදු කැස්බෑ සොරකම දැන් පාරාවලල්ලක් සේ කරකැවී, එම කැස්බෑවා හුන් කැස්බෑ සංරක්ෂිත මධ්‍යස්ථානයේ හිමිකරු වන ආබෘෘ දෙසටම එන ආකාරයකි පෙනෙන්නට ඇත්තේ. ඒ වෙන කිසිවක් නිසා නොව සුදු කැස්බෑ සොරකම ඔහුගේම වැඩක් බවට සැක පිට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බැවිනි. හෙට අනිද්දා වන විට ඔහුට එරෙහිව ඒ සම්බන්ධයෙන් නඩුවක් පවා ගොනු කරනු ඇත. ඊට අවශ්‍ය මූලික කටයුතු මේ ලිපිය ලියන අවස්ථාව වනවිට සිදුවෙමින් ඇති බව දැනගන්නට තිබිණි.
සංරක්ෂිත සත්වයෙකු වූ කැස්බෑවන් ළඟ තබාගැනීමට කොස්ගොඩ පිහිටි එම කැස්බෑ මධ්‍යස්ථානය ඇතුළු කැස්බෑ සංරක්ෂිත මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙරට පිහිටි කිසිදු ආයතනයකට නීතියෙන් අවසරයක් නොමැත. එය එසේ වූවත් වනජීවී ඇමැතිවරයා හෝ අනෙකුත් අදාළ අංශ හෝ නීති විරෝධී එම කටයුත්තට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඇමැතිවරයා ඒ කාලයේ වරක් සුදු කැස්බෑ සොරකම ගැන මහත් වූ කැක්කුමකින් සිය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති සාකච්ජාවක් පවා පැවැත්වූයේය. ඔහුගේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට ආබෘෘවද ගෙන්වාගෙන තිබිණි. සොරාගත් කැස්බෑවා මාලදිවයිනට ගෙනගොස් ඇති බවට විශ්වාස කරන බවද ඇමැතිවරයා එහිදී කීය. ඒ ඊට ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක් පවා කරන බව සඳහන් කරමිනි.
මෑතකදීද වනජීවී ඇමැතිවරයා සුදු කැස්බෑ සොරකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසියෙන් පරීක්ෂණයක් කරගෙන යන බව ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය. ඇමැතිවරයා එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන පුන පුනා අවස්ථා ගණනාවකදී ඒ ආකාරයට කීවේ සැබෑ ලෙසම ඒ ගැන ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක් සිදුවන බව දැනගෙනද, නැතිනම් වෙනත් හේතුවක් නිසාදැයි ඇත්තේ ගැටලුවකි. ඒ වෙන කිසිවක් නිසා නොව, සැබෑවටම සුදු කැස්බෑ සොරකම ගැන ජාත්‍යන්තර පොලිස් පරීක්ෂණයක් සිදුවූ බවක් වාර්තා නොවන නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාපිතකර ඇති ජාත්‍යන්තර පොලීසියේ මෙරට ශාඛාව විසින් හෝ ප්‍රංශයේ පිහිටි ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය විසින් හෝ එවැනි පරීක්ෂණයක් ගැන කිසිවක් සඳහන් කර නැත. ඒ අනුව බලන කල ඇමැතිවරයා ජාත්‍යන්තර පරීක්ෂණයක් කෙරෙන බව පැවැසුවේ මන්ද යන්න ප්‍රහේලිකාවකි.
ඒ දේවල් කෙසේ වෙතත් සුදු කැස්බෑවා සොරකමේ සැඟවුණු කතාව හෙළිකරන්නේ ඇමැතිවරයා සඳහන් කළ ජාත්‍යන්තර පොලීසිය නම් නොව, පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතාගේ නියමයෙන් ක්‍රියාත්මක වූ, දකුණු පළාතෙන් තෝරාගත් නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්ය. එකී පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතාය. ඒ, දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සහ ගාල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සහ උපදෙසිනි. මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.ඩී.සංජීව, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ෆොන්සේකා, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිරෝෂන් රූපසිංහ, මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රශාන්ත , පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ජයරත්න යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් මේ පොලිස් කණ්ඩායම කැස්බෑ සොරකම ගැන සිය විමර්ශන ආරම්භ කරන්නේ දීර්ඝ ලෙස ඒ ගැන කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය. ආබෘෘ විසින් පොලීසියට ලබා දී තිබූ කට උත්තර ද, මාධ්‍ය වෙත ලබාදී තිබූ ප්‍රකාශද, කොස්ගොඩ පොලීසිය විසින් ඒ වන විට කර තිබුණු විමර්ශන තත්ත්වයන්ද, අමල් පෙරේරාගේ ප්‍රකාශයන්ද පොලිස් කණ්ඩායමේ සැලකිල්ලට භාජනය විය.
අනාවරණය කරගත් තොරතුරුවලට අනුව, කොස්ගොඩ කැස්බෑ සංරක්ෂිතයෙන් අතුරුදන් වූ බව සඳහන් සුදු කැස්බෑවා එහි හිමිකරු බව කියන ආබෘෘට හමුවූවා යැයි කියන්නේ 2004 සුනාමියෙන් පසුවය. ඔහු සතුව ඊට පෙර සිටි සුදු කැස්බෑවුන් සුනාමියට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබිණි.
මේ කියන සුදු කැස්බෑවාව තමන් රැක බලාගත්තේ දරුවෙකු ලෙස බව ආබෘෘ පුන පුනා කියූ කතාවකි. නමුත් ඒ දරුවාගේ දිග පළල , බර ,වයස ආදිය ඔහු සටහන් තබා ගන්නේ කැස්බෑවා ‘සොරකම් කරගෙන යන්නට’ ටික දිනකට පෙර බව හෙළිවී ඇත. අවුරුදු හත අටක් තිස්සේ ඔහු එම සුදු කැස්බෑවා ගැන කිසිදු සටහනක් තබා නොගෙන, හදිසියේම ඒ කටයුත්ත කිරීම පොලිස් කණ්ඩායමට ඇතිවූ මුල්ම ගැටලුව විය. මෙහිදී ඇති වී තිබෙන තවත් ගැටලුවක් වන්නේ ආබෘෘ සතුව තවත් සුදු කැස්බෑවුන් කිහිප දෙනකු සිටියත් ඒ කිසිදු කැස්බෑවෙකුගේ දිග පළල, බර, වයස ආදිය සම්බන්ධයෙන් කිසිදු සටහනක් ඔහු සතුව නොවීමය.
රටේ ප්‍රබල දේශපාලනඥයන්, ඔවුන්ගේ ගෝලබාලයන් මෙන්ම ව්‍යාපාරිකයන්ද පෝලිමට අවුත්, කෝටි ගණනකට ඔහුගෙන් සුදු කැස්බෑවා ඉල්ලා ඇති බව පැවසුණත් අමල් පෙරේරාගේ නම පමණක් ඔහු පොලීසියට පැවැසීම ඇතිවූ තවත් ගැටලුවකි. කැස්බෑවා මිලදී ගන්නට පැමිණි සෙසු පිරිස් ගැන විස්තර සැඟවීමත්, පොලීසිය නොමග යවන ප්‍රකාශ කිහිපයක් විටින් විට කර තිබිමත් පොලිස් කණ්ඩායමට ගැටලු ගෙන දෙන්නක් විය.
මෙම කැස්බෑ සොරකම සිදු වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වෙනිදාය. ඒ හරියටම පොහෝ දිනට පෙරය. එදින එහි ආරක්ෂාවට සවිකර ඇති සංවේදක (හෙවත් සෙන්සර්ස්) සහිත විදුලි පහන්ද දෝෂයකට ලක්ව තිබි ඇත. සුදු කැස්බෑවා සිටි ජල ටැංකිය අසල දඩෝරි, සැරපරුෂ බල්ලෙකුද ගැට ගසා සිට ඇත. එම බල්ලා සොරාගේ ගාතයක් කඩා ගන්නවා තබා හූ ශබ්දයක් වත් එදා නගා නැත. බල්ලා සිටි තැන නිරීක්ෂණය කිරීමේදී පොලීසියට පෙනී ගොස් ඇත්තේ මිතුරෙකු හෝ හිතවතෙකු අනපේක්ෂිතව දුටු විට බල්ලන් නකුට වනමින් බිම පහුරු ගාන විට ඇති වන ආකාරයේ හෝඩුවාවන්ය. ඒ අනුව එම සොරකම කර ඇත්තේ බල්ලා නොදන්නා කෙනකු විය නොහැකි බව පොලිස් කණ්ඩායමේ මතය විය. ඉතා සැරපරුෂ බල්ලෙකු නකුට වනා යමෙකු පිළි ගන්නේ නම් ඒ පුද්ගලයා බල්ලා හොඳින් දන්නා අයෙකු විය යුතුය. බල්ලා හොඳින්ම දන්නා බව විශ්වාස කළ හැක්කේ ආබෘෘ සහ ඔහුගේ පවුලේ අයවය. නැතිනම් කැස්බෑ සංරක්ෂිත මධ්‍යස්ථානයේ සේවකයන්වය. සෙන්සර් විදුලි පහන් අක්‍රිය වී ඇති බව දන්නේද ඔවුන්ය. එසේනම් සොරකම ‘ඇතුළේම වැඩක්’ වීමට ඇති ඉඩකඩ වැඩි බව විශ්වාස කළ හැකිය.
සිය දියණිය පදිංචිව සිටින, අම්බලන්ගොඩ පිහිටි සුවිසල් නිවසට ආබෘෘ සෑම දින තුනකට වරක්ම මුහුදු ජලය හොර රහසේ රැගෙන යන බවට පොලිස් කණ්ඩායමට තොරතුරක් ලැබෙන්නේ ආබෘෘ ගැන ඇතිවූ සැකයන් මුල්කරගනිමින් පොලිස් කණ්ඩායම සිය විමර්ශන රහසිගතව කරගෙන යමින් සිටියදීය. ගම්වාසීන්ගෙන් ලද ඒ තොරතුර සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ පොලිස් කණ්ඩායම එහි ඇත්ත නැත්ත තහවුරු කරගන්නට වූයේ වෙස්ගැන්වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු අම්බලන්ගොඩ පිහිටි ආබෘෘගේ දියණියගේ නිවස අවට යොදවාය. එම නිවස පොලිස් කණ්ඩායමේ සෝදිසියට ඉකුත් 14 වෙනිදා ලක්වන්නේ ඒ අනුවය. දෙසැම්බර් 15 වෙනිදා සොරාගත්තේ යැයි සඳහන්වූ සුදු කැස්බෑවාගේ සොරකම පිළිබඳ අලුත්ම තොරතුරු හෙළිවන්නේ ඒත් සමගිනි. ඒ එම නිවසේ පිටුපස ටැංකියකින් සුදු කැස්බෑවුන් දෙදෙනකුම එම සෝදිසියේදී සොයා ගැනීමත් සමගිනි.
ඒ එක් කැස්බෑවෙකු තනිකරම සුදු කැස්බෑවෙකි. අනෙකා සුදු කැස්බවකු යැයි සඳහන් වුවත් ඌ වඩාත් ළංවන්නේ රෝස පැහැයටය. සිරුරේ කළු ඉරිද සහිතය.
පසුගිය වසරේ කැස්බෑ සොරකම ගැන මුල්ම පැමිණිල්ල කොස්ගොඩ පොලීසියට ලැබෙන්නේ ආබෘෘගේ වැඩිමහල් සහෝදරයාගේ පුතාගෙනි. ඔහු ඒ පැමිණිල්ල කරන්නේ දෙසැම්බර් 16 වෙනිදා උදේය. සුදු කැස්බෑවුන් සිව් දෙනකු සංරක්ෂණ මධ්‍යස්ථානයේ සිටි මුත් එදින උදෑසන කැස්බෑවුන් සිටි ටැංකිය පරීක්ෂා කිරීමේදී එක් කැස්බෑවෙකු අතුරුදන්ව ඇති බව ඔහු පොලීසියට කීවේය. ඒ කැස්බෑවා එහි සිටි සුදුම සුදු කැස්බෑවා යැයිද ඔහු පොලීසියට පවසමින් කටඋත්තරයක් පවා දුන්නේය. අනතුරුව ආබෘෘ පවසන්නට වූයේ ගායන ශිල්පී අමල් පෙරේරා රුපියල් කෝටි තුනහමාරකට ඉල්ලා කරදර කළේ එම කැස්බෑවා බවය. ඔහු එහිදී එම කැස්බෑවාගේ බර ,වයස ආදී විස්තරද පවසන්නට විය. ඒ කැස්බෑවාගේ අතුරුදන්වීම පිළිබඳ සැකය අමල් දෙසට එල්ල කරමිනි.
ඒ අනුව කොස්ගොඩ පොලීසිය අමල්ව පොලීසියට කැඳවා ඒ ගැන ප්‍රශ්නකර කටඋත්තරයක් පවා ලියා ගත්තේය. මාලදිවයිනේ සිටින සිය මිතුරෙකු කළ ඉල්ලීමකට අනුව ආබෘෘ සතුව සිටි තනි සුදු කැස්බෑවා මිලදී ගන්නට තමා මැදිහත්වූ බව එහිදී අමල් පෙරේරා පොලීසියට පැහැදිලිවම ප්‍රකාශයක් දුන්නේ තමා මිලදී ගැනීමට සූදානම් වූ සුදු කැස්බෑවාගේ ඡායාරූපයක්ද හඳුනා ගනිමිනි. අමල් කොස්ගොඩ පොලීසියට ලබාදී තිබුණු මෙම කටඋත්තරය කෙරෙහි, විමර්ශන කරන පොලිස් කණ්ඩායමේ විශේෂ අවධානයක් යොමු විය. ඒ අමල් පෙරේරා ඉකුත් ජූලි මාසයේදී එම කැස්බෑවාව මිලදී ගන්නට කොස්ගොඩ කැස්බෑ සංරක්ෂිත මධ්‍යස්ථානයට ගිය විට සුදු කැස්බෑවුන් පස්දෙනකු සිටි බව සඳහන් වී තිබිම නිසාය. ආබෘෘගේ සහෝදරයාගේ පුතාගේ පැමිණිල්ලට අනුව අතුරුදන් වන්නේ ටැංකියේ සිටි සුදු කැස්බෑවුන් හතරදෙනාගෙන් සුදුම සුදු කැස්බෑවාය. එසේනම් අමල් පෙරේරාගේ කටඋත්තරයෙන් කියැවී ඇති අනෙක් සුදු කැස්බෑවාට සිදුවූයේ කුමක්දැයි සොයන්නට පොලිස් කණ්ඩායම පියවර ගත්තේය.
ඒ ඔස්සේ කෙරුනු සොයා බැලීම්වලදී හෙළි වූයේ ඒ පස්වෙනි කැස්බෑවා මියගොස් ඇති බවකි. එම කැස්බෑවා මියගිය දින වකවානුවක් හරියටම කියන්නට මතකයක් ආබෘෘට නොවූවත්, කැස්බෑවා මිය ගියේ අමල් පෙරේරා සුදු කැස්බෑවා ඉල්ලාගෙන පැමිණි දිනට පසුව දිනක යැයි ඔහු පවසන්නට වූයේය. කිලෝ 9කට වැඩි බරක් ඇති එම කැස්බෑවා මියගොස් ඇති බව ඔවුන් දැනගෙන ඇත්තේ දිනක් එම කැස්බෑවා ටැංකියේ පාවෙමින් සිටියදීය. කැස්බෑවාගේ මරණය අඩුම තරමින් වනජීවී දෙපාර්තමේන්තුවටද නොකියන ඔහු තම බෑණා සමග එක්ව මරණ පරීක්ෂණයක් පවා කර ඇත්තේය. කැස්බෑවාගේ බඩෙන් කුරුළු කූඩුවක් හමුවී ඇත්තේ එහිදීය. විශ්වාස කරනුයේ කැස්බෑවුන් රැඳවූ ටැංකිවලට ඉහළ වහලේ තිබුණු කුරුළු කූඩුවක් ටැංකියට වැටී එම කුරුළු කූඩුව කැස්බෑවා විසින් ගිල දැමීමෙන් එම මරණය සිදුවී ඇති බවකි. ආබෘෘ එම කැස්බෑ සිරුර විනාශකර නැත. එය පෝමලින් ගල්වා කැස්බෑ සංරක්ෂිත මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනයට තබා තිබි ඇත. විශේෂ පොලිස් කණ්ඩායම ඒ ගැන ප්‍රශ්න කරන තුරු කැස්බෑ සොරකම ගැන එතෙක් පරීක්ෂණ පැවැත්වූ කොස්ගොඩ පොලීසියට හෝ වෙනත් පොලිස් කණ්ඩායමකට ආබෘෘ ඒ කතාව කියා තිබුණේ නැත.
කෙසේ වෙතත් අමල් පෙරේරා සුදු කැස්බෑවා මිලදී ගන්නට යන විට සිටි කැස්බෑවුන් පස් දෙනාගෙන් සුදුම සුදු කැස්බෑවුන් සිට ඇත්තේ එකෙකු පමණි. අනිත් කැස්බෑවුන් රෝස සහ කහ පැහැයට හුරු සතුන්ය. ඒ අයගෙන් මියැදෙන්නේ ඒ කැස්බෑවුන් අතර සිටි ලොකුම කැස්බෑවාය. එම කැස්බෑවා මියගිය පසු ආබෘෘ සතුව ඉතිරිව සිටින්නේ කැස්බෑවුන් සිව් දෙනෙකු පමණි. පොලිස් කණ්ඩායම කැස්බෑ මධ්‍යස්ථානයේ සේවකයන් කිහිප දෙනකුගෙන්ද ඒ ගැන තොරතුරු විමසා තවදුරටත් කරුණු තහවුරුකරගන්නට අමතක නොකළේය. එම සේවක සාක්ෂිවලට අනුවත් සොරකම සිදුවන විට සිට ඇත්තේ සුදු කැස්බෑවුන් සිව් දෙනෙකු පමණි. අතුරුදන්වන්නේ ඒ අතර සිටි සුදුම සුදු කැස්බෑවාය.
පොලිස් කණ්ඩායම ආබෘෘගේ දියණියගේ නිවසින් කැස්බෑවුන් දෙදෙනෙකු සොයා ගන්නා විට තවත් පොඩි සුදු කැස්බෑවුන් දෙදෙනෙක් කොස්ගොඩ සංරක්ෂිත මධ්‍යස්ථානයේ සිටියෝය. ඒ අනුව බලන කල ආබෘෘ සතුව සිටි කැස්බෑවුන් සිව් දෙනාම දැන් සිටින බවකි පෙනී යන්නේ.
මෙහිදී කැස්බෑවුන් හඳුනාගන්නට පොලිස් කණ්ඩායම අමල් පෙරේරාගේ සහයද ලබා ගන්නට වගබලා ගත්තේය. කැස්බෑවුන් සිව් දෙනා අතර සිටි සුදුම සුදු කැස්බෑවා පෙන්වමින් තමා මිලදී ගන්නට සූදානම් වූයේ එම කැස්බෑවා බව අමල් පෙරේරා විසින් හඳුනාගනු ලැබුවේ සොරාගත් බව සඳහන් කැස්බෑවා ඌ බව තහවුරු කරමිනි.
මෙහිදී ආබෘෘ තමාගේ පැත්තෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට වූයේ සොරකමින් පසු ආරක්ෂාවට ඉතිරි කැස්බෑවුන් තම දියණියගේ නිවසේ සැඟවූ බව කියමිනි. සුදුම සුදු කැස්බෑවා සැඟවූයේ අමල් පෙරේරා සුදු කැස්බෑවුන් ඉල්ලා කරදර කරන්නට වූ බැවින් බවත්, අනිත් කැස්බෑවා සැඟවූයේ සොරකමින් පසු සුදු කැස්බෑවුන්ගේ ආරක්ෂාවට බවත් ඔහු පවසන්නට විය. එහෙත් ඔහුගේ එම ප්‍රකාශ සත්‍යයෙන් තොර ඒවා බව සේවකයන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි විය. ඔවුන් කීවේ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටියේ එක සුදුම සුදු කැස්බෑවෙකු පමණක් බවය. ඔවුන් කියන ආකාරයට දෙසැම්බර් මාසයේ අතුරුදන් වූ බව ආබෘෘ පැවැසුවේ එම කැස්බෑවාය. එම කැස්බෑවා අතුරුදන්වීමෙන් පසු එහි සිටි තවත් සුදු කැස්බෑවෙකු ආරක්ෂාවට යැයි කියා ආබෘෘ රැගෙන ගිය බවද සේවකයෝ දැන සිටියහ. ආබෘෘගේ දියණියගේ නිවසින් සොයාගන්නේ අතුරුදන්වූ බව කී එම සුදු කැස්බෑවා සහ ආරක්ෂාවට යැයි පවසා රැගෙන ගිය අනෙක් කැස්බෑවා බව කැස්බෑ මධ්‍යස්ථානයේ සේවකයන්ද පොලිස් කණ්ඩායමට තහවුරු කර ඇත.
මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමේදී පොලිස් කණ්ඩායමට පැහැදිලි වූයේ කුමක් හෝ හේතුවක් මුල්කරගනිමින් ආබෘෘ විසින් සුදු කැස්බෑවා දියණියගේ නිවසේ සඟවා කැස්බෑ සොරකමක් සිදුවූ ආකාරයක් මවා පා ඇති බවකි. එහිදී ඔහු ඒ බොරුව කරන්නේ මියගිය කැස්බෑවාගේ විස්තර ඉදිරිපත් කරමින් බවද පැහැදිලි විය. ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් පොලිස් කණ්ඩායම දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එහිදී එක් බොරුවක් වසාගන්නට තවත් බේගල් ඇද බාන්නට ගොස් ඔහු පොලීසියේ අතටම හසුවූයේ බොරු පැමිණිල්ලක් කර පොලීසිය නොමග යැවීමේ චෝදනාවටය.
පොලීසිය මේ වනවිට සැක කරනුයේ, අමල් පෙරේරා සුදු කැස්බෑවාට කෝටි ගණනක මුදලක් ගෙවන්නට සූදානම් වීම නිසා කැස්බෑවාගේ මෙම අධික වටිනාකම තේරුම් ගත් ආබෘෘ අමල් පිට දමා කැස්බෑවා ‘අතුරුදන්’ කොට, රහසේ ඌ විකුණා කෝටි ගණනක් හම්බ කරගන්නට මේ සැලසුම සකස් කරන්නට ඇති බවකි.
0 comments for "ආබෘ සැලසුම් කළේ අමල් පෙරේරාට මුවාවී සුදු කැස්බෑවා කෝටි ගණනකට විකුණන්නද? "
Leave a reply