පාසලේ සෙල්ලම් කරමින් සිටි 4 ශ්‍රේණියේ ශිෂ්‍යයා ගල් රෝලක හැඬලයට පපුව සිරවී මරු තුරුළට





කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි නව හැවිරිදි ශිෂ්‍යයකු විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිටියදී එහි තිබූ ගල් රෝලකට සිරවීමෙන් සිදු වූ හදිසි අනතුරකින් ඊයේ (21 වැනිදා) පෙරවරු 7.20 ට පමණ මිය ගියේය.

මෙම අනතුරින් මියගියේ ආනන්ද විද්‍යාලයේ 4 - 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිනිත විඡේසිංහ නමැති ශිෂ්‍යයා බව පොලිසිය පවසයි.

ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට්‌ තණතීරුව තැලීම සඳහා යොදාගන්නා ටොන් 3 1/2 ක බරින් යුත් ගල්රෝලක හැඬලය සහ ක්‍රීඩාංගණයේ තාප්පය අතරට මෙම ශිෂ්‍යයා සිරවීමෙන් ඔහු මියගොස්‌ ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

මියගිය ශිෂ්‍යයා මාලබේ පදිංචිකරුවෙකි. පියා පෞද්ගලික ආයතනයක සේවය කරන අතර මව ගෘහණියකි. මියගිය සිනිත ශිෂ්‍යයාට සොහොයුරියන් දෙදෙනෙකි.

ඊයේ පෙරවරුවේ පාසල ආරම්භ කිරීමට පෙර සිනිත ශිෂ්‍යයා සිය මිතුරන් සමඟ විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරමින් සිට ඇත.

ක්‍රිකට්‌ තණ තීරුව තැලීම සඳහා යොදාගන්නා ගල් රෝල එහා මෙහා ඇදගෙන යමින් මොවුන් ප්‍රීති වී ඇත. ඒ අවස්‌ථාවේ සිනිත ශිෂ්‍යයා ගල් රෝලේ හැඬලය ප්‍රදේශයෙන් ඇදගෙන යැමේදී ඔහු ගල් රෝලේ හැඬලයත් ක්‍රීඩාංගණයේ තාප්පයත් අතර සිර වී ඇත.

ශිෂ්‍යයාගේ පපු ප්‍රදේශය තදින් සිරවී ඇති අතර බියට පත් වූ ඔහුගේ මිතුරන් කෑගසා ඇත. ඒ අවස්‌ථාවේ විද්‍යාලයේ ක්‍රීඩා භාර ගුරුවරයා එම ස්‌ථානයට පැමිණ සිනිත ශිෂ්‍යයා ගල් රෝලෙන් ඉවතට ගෙන ප්‍රථමාධාර කාමරය වෙත ගෙන ගොස්‌ තිබේ. එහිදී සිදු කළ ප්‍රථමාධාරවලින් පසුව සිනිත ශිෂ්‍යයා ළමා රෝහල වෙත ගෙනයැමට විදුහලේ බලධාරීන් කටයුතු කර තිබේ.

එහෙත් රෝහල්ගත කරන විටත් දරුවා මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

මරදාන පොලිස්‌ ස්‌ථානාධිපති ලූෂන් සූරියබණ්‌ඩාර මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති ගාමිණී හේවාවිතාරණ, උප පොලිස්‌ පරීක්‍ෂක මයුර ද සිල්වා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

Posted in:

0 comments for "පාසලේ සෙල්ලම් කරමින් සිටි 4 ශ්‍රේණියේ ශිෂ්‍යයා ගල් රෝලක හැඬලයට පපුව සිරවී මරු තුරුළට"

Leave a reply